දෙදරු පියාට පිහියෙන් ඇන ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට


(මංගල එදිරිසිංහ)  

දෙදෙනෙකු අතර ඇති වූ  ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙකාට පිහියෙන් ඇනීම නිසා බරපතල තුවාල ලැබූ දෙදරු පියෙකු මිය ගොස්  ඇතැයි හොරණ පොලිසිය පවසයි.            

සැකකාර පුද්ගලයා කනන්විල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර මේ වන විට ඔහුව හොරණ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.                                        
මියගොස් ඇත්තේ හොරණ කනන්විල පදිංචි රෝහණජිත් නයනජිත් රණසිංහ නම් වූ 47 හැවිරිදි දෙදරු පියෙකි.                              
එම තැනැත්තා ඊයේ රාත්‍රී 10 ට  පමණ තම නිවෙස ඉදිරිපිට නිවැසියන් සමග කතා කරමින් සිටිය දී, එක්වරම ස්කූටර් බයිසිකලයකින් පැමිණි ඔහුගේ මිතුරා අසභ්‍ය වචනයකින්  ඔහුට බැණ වැදී අතර ඉන් අනතුරුව දෙදෙනා අතර බහින් බස් වීමක්  වී ඇත. අනතුරුව මිතුරා පිහියකින්  එම පියාගේ පපු ප්‍රදේශයට ඇන එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් කියයි.  
                                                     
අනතුරුව බරපතල තුවාල ලැබූ තුවාලකරුව එම මොහොතේම හොරණ මූලික රෝහලට ඇතුළත්  කිරීමට පවුලේ පිරිස  කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව හොරණ රෝහල ආරංචි මාර්ග කියයි.    
                                             
මෙම දෙදෙනාම හොරණ අරමනාගොල්ල  ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරත  දිගු කාලයක සිට හොඳ මිතුරන් දෙදෙනෙකු බවත්, ඊයේ සවස ඔවුන් දෙදෙනා ම යම් ස්ථානයක දී මත්පැන් පානය කර ඇති බවත්, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන හොරණ පොලිසිය පවසයි.                               

සිද්ධිය වූ ස්ථානයට පැමිණි හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ  වැඩබලන මහේස්ත්‍රාත් චන්දන  විජේසූරිය  මහතා ස්ථාන පරීක්ෂාව කර, වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුව අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරන ලදී.

හොරණ  මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර  පරීක්ෂණ කටයුතු පවත්වයි.