(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දිවුලපිටිය-හොරගස්මුල්ල ප්‍රදේශයේ නිත්‍යානුකූල නොවන අන්දමින් පවත්වාගෙන යන යාච්ඥා මධ්‍යස්ථානයක් නිසා තමන් මහත් සේ පීඩාවට පත්ව ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීහු හා ප්‍රදේශයේ මහා සංඝරත්නය අද ( 6) දහවල් එම මධ්‍යස්ථානයට පැමිණ විරෝධය පළ කළහ.
මේ විරෝධතාවය නිසා එම මධ්‍යස්ථානයේ කටයුතු වහා නවතා දමන ලෙසට උපදෙස් දුන් පොලිසිය ඒ පිළිබදව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව දැනුම්දීමෙන් පසු පිරිස විසිර ගියහ.
හොරගස්මුල්ල දිසා රෝහල ආසන්නයේ නිවසක මෙම යාච්ඥා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර පිටතින් පැමිණෙන නාඳුනන පිරිස් ගැවසීම නිසා තම ගමට තර්ජනයක් ව ඇති බව මෙහිදී ජනතාව සඳහන් කළහ.
ඔවුනට ආගම ඇදහීමට අවශ්‍ය කෙරෙන ආගමික මධ්‍යස්ථාන දිවුලපිටිය නගරය ආසන්යේ කිහිපයක්ම ඇති බව පෙන්වා දුන් ජනතාව නිවස ඇතුළත රහසිගත ඉදිකිරීම් සිදුකරමින් පල්ලියක් නිර්මාණය කිරීමේ නිරත බවටද චෝදනා කළහ.
මේ අවස්ථාවේ එහි පැමිණි දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පරිසර කමිටුමේ නියෝජිතයන් ජනතාව පීඩාවට පත් වෙන බවට ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මහජන පීඩාවක් ඇති නොකරන ලෙසටද උපදෙස් දෙනු ලැබීය.
එහි පාලිකාව දැඩිව අවධාරණය කරනු ලැබුයේ තම ආයතනය ලියා පදිංචි කර නැති බවත් එය ක්‍රිස්ත්‍රියානි මණ්ඩලයේ ජනතා දේව සබාවක් බවයි. දැනට විශාල පිරිසකගේ ලෙඩ දුක් සුව කරදී ඇති බව කී පාලකවරිය ඉදිරියේදී වැඩිහිටි නිවාසයක් ආරම්භ කිරීමට නියමිත බවද සදහන් කළාය.
මෙහිදී මහා සංඝරත්නය අවධාරණය කළේ වැඩිහිටි නිවාසයන්ද ආසන්නයේ කිහිපයක් ඇති බවයි. එමෙන්ම වැඩිහිටි නිවාස ආරම්භ කිරීම සුදුසු නොවන ක්‍රියාවක් බවද මෙහිදී පැහැදිලි කර දුන්හ. එදිනෙදා පැවැති මේ ගමේ සංස්කෘතිය විනාශ නොකරන ලෙසට ඉල්ලා සිටින බවද මහ සගරැවන මෙහිදී අවධාරණය කළහ.
ආගමික ස්ථාන මෙන්ම දහම් පාසල් පවා අලුතින් ආරම්භ කිරීමේ ක්‍රියාදාමය අනුගමනය නොකර සිදු කරන මේ කටයුතු නිසා විශාල ගැටලුවක් ඇතිවීම වැළැක්වීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙහිදී පොලිසියෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
සිද්ධිය පිළිබදව අවසන් තීරණයක් ගැනීම සදහා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවට පොලිසිය මෙහිදී දැනුම් දුන් අතර සාමය ආරක්ෂා කර ගැනීම සදහා එතෙක් මෙහි කටයුතු නවතන ලෙසටද උපදෙස් දෙනු ලැබීය.