දැරියට හදි කළ පරිගණක ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිවසේ කවුරුත් නොමැති අවස්ථාවක 12 හැවිරිදි ඥාති සොහොයුරියක දූෂණයට ලක් කළ බව කියන පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

දූෂණයට ලක් වූ දැරිය රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

දැරියගේ මව සහ පියා දැරිය කුඩා කාලයේදීම මියගොස් ඇති අතර දැරිය හැදි වැඩී ඇත්තේ පියාගේ සහෝදරයෙකුගේ නිවසේ බව පොලිසිය පැවැසීය.

දැරියගේ පියාගේ සහෝදරයාගේ දියණිය විවාහ වී ඇත්තේ  සැකකාර පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා සමඟ බව පොලිසිය කියයි.

සැකකරුගේ බිරිඳ ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතව සිටින අවස්ථාවේ සැකකරු දැරුයට මුලින්ම අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

දැරිය ඒ බව පුංචි අම්මාට පවසා ඇති අතර ඇය සැකකාර බෑනාට අවවාද කර තිබූ බව පොලිසිය කියයි.

ඒ බව ගනන් නොගත් සැකකරු නැවත වතාවක් දැරියට අතවර කිරීමෙන් පසු දැරිය ඒ පිළිබඳව පන්ති භාර ගුරුතුමියට දැනුම් දීමෙන් අනතුරුව එම ගුරුතුමිය කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.