දැඩි සුළඟින් බලන්ගොඩ නිවාස 9 කට හානි-39ක් පීඩාවට



 (ප්‍රින්ස් රත්නායක)
 
බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 9 කට හානි වී පුද්ගලයින් 39 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
 
පූර්ණ වශයෙන් හානිවූ  නිවාස 1 ක් සහ අර්ධ හානිවූ නිවාස 7ක්ද, වෙනත් දේපල හානි 1 ක් ද වාර්තා වන බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය. හානියට පත් වූ නිවාස අතර පූර්ණ හානිය වාර්තා වනුයේ ඇල්ලේපොළ ප්‍රදේශයෙනි. බලන්ගොඩ නගරය, ඇල්ලේපොළ, ඉඹුලාමුර, කිරිමැටි තැන්න, බුළත්ගම ප්‍රදේශවල නිවාසවලට අර්ධ හානි වී තිබේ.
 
පූර්ණ හානිවු නිවාසයේ පිරිස් වෙත සතියකට ප්‍රමාණවත් වියළිසළාක ලබාදීමට ආපදා සහන අංශය කටයුතු කර ඇත. පූර්ණ හානියට පත් නිවසේ සිව්දෙනෙකු සිය ඥාතියකුගේ නිවසේ රැඳී සිටීමට පියවර ගෙන ඇත.
 
අනෙකුත් අර්ධ හානිවෙනුවෙන් සහන සැලසීමට රුපියල් 10,000ක මූල්‍යාධාර  ලබාදීමට පියවර ගෙන ඇති බව ද අනෙකුත් සහන සැලසීම සම්බන්ධයෙන් සිය කාර්ය මණ්ඩලය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
 
මේ අතර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ නිවාස 3කට සුළු හානි සිදුව තිබෙන බව ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් භාග්‍ය බටුගෙදර මහතා සඳහන් කළේය.