අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
රජයේ මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ගසා කන්නට ඉඩ නොදී දාපනේ දොරපනේ මාර්ගයේ නවීකරණ කටයුතු ප්‍රමිතියකින් යුතුව සිදුකරන්නැයි ගම්වාසීහු ඉල්ලා සිටිති.
සබරගමුව පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ රුපියල් හැටතුන් ලක්ෂ තිස් හතර දහසක පමණ ප්‍රතිපාදන මත මාර්ගයේ කිලෝමීරටක දුරක් ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කළ මුදල කිසිදු ප්‍රමිතියකින් තොරව සහ රජයේ නිලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව සිදු කෙරෙන බව ඔවුහු පවසති.
දොරපනේ හරහා ඇඹිලිපිටිය ඌරුබොක්ක පාරත්, කොලොන්න ඌරුබොක්ක පාරත් යාකරන මෙම මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර දෙකක් පමණ වේ.
මෙම මාර්ගය දාපනේ, දොරපනේ, දඩයම්කන්ද, බටහෙන්කන්ද වැනි ගම්මාන රැසක දහස් ගණනක් ජනයා දිනපතා භාවිත කරන්නකි.
මෙතරම් විශාල මුදලක් වැය කළද මෙම මාර්ගයෙන් වැඩිදියුණු කරන්නේ කිලෝ මීටරයක දුරක් පමණි.
සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ නිර්දේශ මත මෙම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ සැප්තැම්බර් 5 වැනි දාය.
නිසි ප්‍රමිතියකින් තොරව පැරණි තාර තට්ටුව උඩ ගල් එළා මහ වැස්සේ තාර වත්කරමින් සිදුකරන අලුත්වැඩියා කටයුතු සඳහා ජනතා විරෝධය එල්ලවීම නිසා ඊයේ (23) බලධාරීන් පැමිණෙන තුරු ඒවා නතර කිරීමට කොන්ත්රාත්කාර සමාගමේ සේවකයන්ට සිදුවිය.
කොළොන්න ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉඳුනිල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) මෙසේ කීය.
“අද මේ මහ වැස්සේ තාර දානවා. තියන තාරපාර උඩ මඩත් එක්ක ගල්දාලා ගල් රෝලෙන් තලලා ඒ උඩින් තාර වක්කරනවා. එහෙම දාපු තාර තට්ටුව අතින් ගලවන්න පුලුවන්. මේ වැඩේ අධීක්ෂණය කරන්න කිසිම රාජ්‍ය නිලධාරියෙක් නෑ. මේ විදියට මහජන මුදල් ගසා කන්න ඉඩ දෙන්න එපා කියලා මම බලධාරීන්ගෙන් ඉල්ලනවා”