දඹුල්ලේ වැස්සට හානි වු ලූනු ගොවීන්ට වන්දි



 
(මහේෂ් කිර්තිරත්න)                  

              
වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූනු ගොවීන්ට හෙක්ටයාර් එකකට රු. 100,000 බැගින් කෘෂි රක්ෂණ වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූනු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. 


යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදුවේ.


නමුත් එම ගොවීන් සඳහා වගා හානි වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.


මෙම රජය බලයට පත්වීමට පෙර වගා හානි ලබා ගැනීමට නම් ගොවින් විසින් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත යුතු වු අතර ඒ සඳහා වාරික දායක මුදලක් ගෙවිය යුතුව තිබිණි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රධාන බෝග 06ක් සඳහා දායක මුදලකින් තොරව නොමිලේ වගා රක්ෂණය ලබාදීමේ වැඩ පිළිවෙළක් 2018 යල කන්නයේ සිට අරඹනු ලැබීය.
 
ඒ අනුව වී, අමු මිරිස්, ලොකු ලූනු, අර්තාපල්, බඩඉරිගු, හා සෝයාබෝංචි වගා කරන ගොවීන් හට නියඟය, වැස්ස, හා වනඅලින්ගෙන් වගා හානියක් සිදුවුවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් වගා හානි වන්දි මුදල් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා රජය වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 5228කි.