දඩයමේ ගිය තිදෙනෙකු තුවක්කු 8ක් සමඟ අත්අඩංගුවට



 (ජේ.කේ.එල් චාමින්ද, ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක සහ රවී ලියනගේ)

 
උඩුගම කොතලාවල ඇල්ල ප්‍රදේශයේ දි සතුන් දඩයම් කිරීම සදහා යමින් සිටි තිදෙනෙකු බෙහෙත් කොටන තුවක්කු 8ක්, මත්පෙති ඇතුළු උගුල් ඇටවීමේ මෙවලම් සමග  අත්අඩංගුවට ගත්බැව්  උඩුගම පොලිසිය පවසයි.
 
කොතලාවල ඇල්ල කැළෑබද ප්‍රදේශයේ දි  අත්අඩංගුවට ගත් මෙකි සැකකරුවන් තිදෙනා උඩුගම  පදිංචි වයස  අවුරුදු 27,23 හා 48 වියේ පසුවෙති.
 
මොවුන් සතුන් දඩයම් කිරිම සදහා සුදානමින් සිටින බවට උඩුගම පොලිසියේ විශේෂකාර්යංශ නිලධාරියාට ලද  තොරතුරකට අනුව අත්අඩංගුවට  ගෙන ඇත.
 
මෙකි සැකකරුවන් සන්තකයේ තිබී බලපත්‍ර නොමැති බෙහෙත්කොටන තුවක්කු 8ක් සමග, මරුඋගුල් අටවන, බෙහෙත් කොටන තුවක්කු සදහා යොදාගනු ලබන වෙඩිබෙහෙත් ග්‍රැම් 100ක්, අහස්‍කූරු,  ඊයම්බෝල, කිනිසි 02ක්, මත්පෙති 08ක් පොලිසිය සොයාගෙන ඇත. සැකකරුවන් දෙදෙනෙකු ළග තිබි ගංජා මිලිග්‍රැම් 2,200ක් ද තිබී ඇත.
 
කාලයක් තිස්සේ මොවුන් සතුන් දඩයම් කිරීම සදහා  බෙහෙත්කොටන තුවක්කු යොදාගෙන ඇතිඅතර, අත්අඩංගුවට පත්වු එක් සැකකරුවකු මීට පෙරද බලපත්‍රයක් නොමැති බෙහෙත් කොටන තුවක්කුවක් සමග පොලිසියට හසුවු අයෙකු බවද පොලිසිය පවසයි.
 සැකකරුවන් තිදෙනා  අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - රවී ලියනගේ)