දකුණු පළාතට ගුරුවරු 5000ක් බඳවා ගැනීමට සැරසේ



(ජේ .කේ. එල්. චාමින්ද)
 
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින්  අදියර හතරක් යටතේ  ගුරුවරුන් 5000ක් බඳවා ගැනීමට සැලසුම්කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.
 
පවතින පුරප්පාඩු අනුව උපාධිධාරීන් සම්මුඛ පරික්ෂණවලට හා තරග විභාගයක් මගින් බඳවා ගැනීමට කටයුතු කරන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළේය. 
 
2020 දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලය තුළ පවතින පුරප්පාඩු අනුව අදියර හතරක් යටතේ මෙම ගුරුවරුන් බඳවා ගන්නා බවත් බඳවා ගැනීමේ ක්‍රමවේදය පැහැදිලිවම පුවත්පත් දැන්වීමේ සඳහන්ව ඇති බවද හෙතෙම පවසයි.
 
 මේ පිළිබද අදහස් දක්වමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා මෙසේද කිවේය.
 
 “ යම්කිසි ප්‍රදේශීය ලේකම්  කොට්ඨාසයක පවතින  පුරප්පාඩු සංඛ්‍යාවට වඩා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව අඩුනම්  සම්මුඛ පරීක්ෂණයකට ලක්කර බඳවා ගන්නවා. නමුත් යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක පවතින පුරප්පාඩු සංඛ්‍යාව 10ක්ව ඇති අවස්ථාවක 11  දෙනෙකු අයදුම්කරලා තියෙනවා නම්  ඒ සඳහා විභාගයක් තියෙනවා. හැම විෂයකටම වගේ ගුරුවරුන් බඳවා ගන්නවා. වාණිජ ගුරුවරු සහ ආර්ථික විද්‍යා ගුරුවරු බඳවා ගැනිම අවශ්‍යයි. නමුත් අධිකරණයේ නඩුවක් පවතින නිසා බඳවා ගන්න බැහැ. ”