තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි


(දයාරත්න ඇඹෝගම)

තියුණු ආයුධ වලින් පහරදි 44 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළේ යැයි කියන පෙදරේරුවන් සිව් දෙනෙකු තරියන්කුලමේදී අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තරියන්කුලම,කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි කිරිබණ්ඩාගේ සුනිල් නැමැති 44 හැවිරිදි අයෙකි.

පසුගිය 25 වන දින පස්වරුවේදී තරියන්කුලමදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග ගොස් තියුණු ආයුධ වලින් කපා කොටා ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් පුද්ගලයන් අට දෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණි.

තුවාල ලැබූවන් එම ප්‍රදේශයම පදිංචි පුද්ගලයන් බවත් ඔවුන් ගෙන් හත් දෙනෙකු පෙදරේරුවන් වන බවත් එක් අයෙකු කම්කරුවෙකු බවත් පොලිසිය කියයි.

තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ මෙම 44 හැවිරිදි පුද්ගලයා මිය ගිය අතර එම සිද්ධියට රෝහල් ගතව සිටි පෙදරේරුවන් සිව් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස හත්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද පොලිසිය සඳහන් කළේය.