ත්‍රිරෝද රියදුරාගේ බෝතල පහරින් පාසල් සිසුවකුට ශල්‍යකර්මයක්


ප්‍රසාද් මුතුකුඩ

 

මීගමුව අක්කර පනහ   මාර්ගයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරමින්  තිබූ වෑන් රථයකට  ත්‍රී රෝද රථ රියදුරෙකු විසින්  වීදුරු  බෝතලයකින්  පහරදීමෙන් එහි  සිටි පාසල් සිසුවකුගේ  දකුණු අතෙහි මැණික්කටුව දක්වා  බරපතල ලෙස කැපී ගොස් ඇති බවත් එම සිසුවාට ශල්‍ය කර්මය සිදුකර ඇති බවත් මීගමුව  පාසල් ළමුන්  ප්‍රවාහකයින්ගේ සුබසාධක  සංගමයේ  ලේකම්  ප්‍රේමලාල්  කිත්සිරි මහතා පවසයි.

මෙම සිද්ධියට අදාළව  කරුණු  විමසීමට  එම පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ රියදුරු මහත්වරු පිරිසක් කටාන පොලීසියට අද (17)  පැමිණ සිටියහ.

ප්‍රදේශය අතහැර පලාගොස්  සිටි  රියදුරු දින තුනකට පසුව  අත්අඩංගුවට  ගෙන ඇති අතර  කටාන පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.

මීගමුව  ප්‍රදේශයේ  පාසල් කීපයක  ඉගෙනුම ලබන  පාසල්  ළමුන් කිහිප දෙනකු යළි නිවසට ඇරලීම සඳහා මෙම පාසල් රථය ගමන් කරමින් තිබියදී අක්කරපනහ ප්‍රදේශයේ දී   මාර්ගය අවහිර වන ලෙස  ත්‍රී රෝද රථයක් නවතා තිබී ඇත.

මාර්ගයේ ඉඩ සලසා ගැනීමට  වෑන් රථයේ රියදුරු  නළාව  ශබ්ද කළ අවස්ථාවේ  සැකකරු   වීදුරු  බෝතලයක්  රැගෙන පැමිණ  වෑන් රථයට පහරදීම හේතුවෙන්  එහි ඉදිරිපස වීදුරුව  බිඳී ගොස්  තිබේ.

බිඳුණු  වීදුරු බෝතල් කැබැලි  වැදී   ඉදිරිපස අසුනේ සිටි අට වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ දකුණු අත කැපී බරපතල තුවාලයක් සිදු වූ බැවින් ලේ ගලමින් සිටි සිසුවා මීගමුව මූලික රෝහලට ඇතුළත් කළ බව පාසල් ළමුන්  ප්‍රවාහකයින්ගේ සුබ සාධක  සංගමයේ  ලේකම්වරයා  පැවසීය.