තහනම් පොලිතීන් සහ ප්ලාස්ටික් වටලන්න යයි


අමල් වික්‍රමරත්න 

තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතා කරන ස්ථාන වැටලීම් දැඩි කිරීමට තීරණය කර ඇතිබව මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.
 
ජනවාරි පළමු වනදා සිට නීතිය ක්‍රියාත්මක වුවද මෙතෙක් වැටලීම්  සිදු කෙරුණේ නිෂ්පාදකයන් සහ තොග වෙළදුන් ආශ්‍රිතව පමණක්  බවත් අද (19)  සිට එම වැටලීම් සුපිරි වෙළදසැල්, සිල්ලර  වෙළදසැල් සහ අවන්හල් ආශ්‍රිත සිදුකරන බව එම අධිකාරිය පවසයි.
 
එවැනි ස්ථානවලින් පාරිභෝගිකයන්ට කිසියම් ද්‍රව්‍යයක් අළෙවි කිරීමේදී තහනම් කරන ලද පොලිතීන් හා ප්ලාස්ටික් අසුරනයක්  යොදා ගැණුනහොත් ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පවසයි.
 
මේ යටතේ දැනට තහනම් කර ඇති  ප්‍රමිතියෙන් තොර ලන්ච්ෂීට් සහ පොලිතීන් උර අවන්හල්වල භාවිත කරන්නේද යන්න පිළිබද සෘජු අධීක්‍ෂණයකට ලක් කිරීමට නියමිත බව පවසයි.
 
දිවයින පුරා තිබෙන මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවල  නිලධාරීන් 400 ක් පමණ යොදාගෙන මෙම වැටලීම්   සිදුකිරීමට නියමිත බව ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න මහතා පැවසීය.