තක්සේරු නිලධාරීහු සත්‍රයග්‍රහයක


( තිලකරත්න දිසානායක සහ දයාරත්න ඇඹෝගම)

රාජ්‍ය තක්සේරුකරණය දියකරහැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව බව කියමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ බටහිර උතුර පළාත් කාර්යාලයෙහි කාර්ය මණ්ඩලය ගම්පහ දුම්රියපොල ඉදිරිපිටදී සහ උතුරු මැද තක්සේරු නිලධාරිහූ අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම අසලදී අද (25)  එක්දින සංකේතාත්මක සත්‍යග්‍රහයක්  පැවැත්වූහ.

රජයේ තක්සේරුකරුවන්ගේ සංගමයේ සමස්ත ලංකා ප්‍රධාන ලේකම් ඩී.එම්.සෙනෙවිරත්න මහතා පැවසුවේ රාජ්‍ය තක්සේරුකරණය දියකර හැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව හා තක්සේරු සේවාවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම පිණිස 2014.12.12 දිනැතිව අනුමත කරන ලද කාර්ය මණ්ඩලය තක්සේරු දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කරවා ගැනීම සඳහා රජයේ බලධාරීන් අපොහොසත් වීමට එරෙහිව මෙය පවත්වනු ලබන බවයි.

රාජ්‍ය ආයතනවල තක්සේරු කටයුතු පෞද්ගලික අංශයට ලබා දෙමින් පවතින බවත් ඊට සිය විරෝධය පළ කරන බවත් ඒ මහතා පැවසීය.

සිය සංගමය විසින් කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අරඹා ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 65 ක් ගතවී ඇති නමුත් තම ඉල්ලීම්වලට නිසි විසදුමක් නොමැති බැවින් මෙලෙස දිවයිනෙහි ප්‍රධාන නගර හයක එක්දින සත්‍යග්‍රහ පවත්වා ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවන බව ඒ මහතා කීය.


( ගම්පහ-තිලකරත්න දිසානායක)

(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)