ජයවර්ධන ජනපති ගුණ ජපානයේ සැමරේ


ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති  ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණි. ටෝකියෝ නුවර හචිඕජි නගරයේ සාක්‍යමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව ආරාධිතයෝ ගුණකථන පැවැත්වූහ.

1951 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජයවර්ධන මහතා ධම්මපදයේ ‘නහි වේරේන වේරානි‘ ගාථාව පදනම් කරගෙන දේශනය ජපන් ආර්ථිකයේ ඉදිරි ගමන් මග යහපත් අතට හැරවීමට සමත් වීම නිසා ජපානය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩනැඟිණි.

මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳව ජපානයේ වත්මන් තරුණ පරපුර දැනුවත් කිරීම ද මෙම උත්සවයේ අරමුණක් විය. උත්සවයේ ප්‍රධාන ආරාධිත වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්‍ය ධම්මික ගංගානාත් දිසානායක මහතා විසින් ජපන් බසින් විශේෂ දේශනයක් සිදු කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජපන් ප්‍රධාන ශාඛාවේ සම සභාපති වරුන් වන සචිත් ලියනගේ, චන්දන වික්‍රමසිංහ සහ එහි ලේකම් රුවන් වීරසිංහ ප්‍රමුඛ සාමාජිකයන් ඇතුළු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව උත්සවය සංවිධානය කළහ.

01 02 03 04