(ඩී.ජී.සුගතපාල)
ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසළ පෞද්ගලික බස් නැවතුම්පොළ ඉදිරිපිට ජංගම වෙළඳසලක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අද (13) අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ජංගම වෙළඳසලක මුවාවෙන් හෙරොයින් ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් එම ස්ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදි සැකකරුගේ කලිසම් වාටියේ සූක්ෂම ලෙස සඟවා තිබු හෙරොයින් මිලිග්‍රෑම් 1625ක් සොයාගෙන ඇත.
පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද පාසල් සිසුන්ද ඉලක්කකරගෙන හෙරොයින් ජාවාරම් කර ඇති අතර බස් කොන්දොස්තරවරුන් මගින් වෙනත් ස්ථානවලටද හෙරොයින් යවා ඇති බවය.
ගාල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.