ගෝන මස් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට


(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය කඳපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගෝන මස් තොගයක්  හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය හා සීතාඑළිය වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් අද (30) සොයා ගෙන තිබේ.

කඳපොල ප්‍රදේශයේ සතුන් මැරීම සඳහා අටවා තිබූ මදු හා උගුල්  ඉවත් කිරීමේ මෙහෙයුමක යෙදී සීටි නිලධාරීන්ට කැළෑ  ප්‍රදේශයක තිබී  හමුවූ  ගෝනෙකුගේ ශරීර කොටස් අනුව අසල නිවසක් පරීක්ෂා කිරීමේදි මෙම ගෝන  මස් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම ගෝන මස් තොගය සඟවාගෙන සිටි පුද්ගලයා වනජීවී නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉතාමත් සුක්ෂම ආකාරයට කලක පටන් වන සතුන් මැරීම සිදු කොට ඇති බවත් සැකකරුට එරෙහිව වෘක්ෂලතා හා වනසත්ත්ව  ආරක්ෂක ආඥාපනතට අනුව දැඩි ආරක්ෂිත සත්වයෙකු වන ගෝනුන් මැරීමේ චෝදනාව යටතේ නුවරඑළිය අධිකරණයේ නඩු පවරන බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා මහතා කීය.