ගොඩකවෙල පොදු ලිඳ කඩා දමති


(අජිත්ලාල් ශාන්තඋදය)

වසර විස්සක වැඩි කාලයක් නිවාස 108කට නළ මගින් ජලය සැපයූ ගොඩකවෙල නියංගම පොදු  ළිඳ කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි එම ප්‍රදේශයේ ප‍්‍රජා ජල පාරිභෝගිකයෝ  පවසති.

කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් ළිඳේ ආරක්‍ෂාවට යොදා තිබූ කොන්ක‍්‍රීට් ආවරණය කඩා විනාශ කර දමා ඇති බවත් මේ සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසියට පැමිණිලි කළද තමන්ට සහනයක් නොවූ බවත් ප්‍රදේශවාසීහු කියති.  

පොලීසිය නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්‍ධයෙන් ගම්වාසීන් කරන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බව ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක යූ.පී.බී.ජි. නෙලූම්දෙනිය මහතා කියයි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුව ගත් බවත් ජලය නොමැති නිසා බාල්දියෙන් ජලය ගැනීමට එය කඩා දැමූ බව ඔවුන් ප්‍රශ්න කිරීම්වලදී පැවසූ බවත්  ඒ මහතා පවසයි.

මෙය රජයේ මුදල් වැය කර ඉදිකර ඇති නිසා සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් අධිකරණයෙන් ඔවුන්ට ඇප ලබා දී ඇති බවත් පොලිස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරයි.