ගුරු සහයකවරුන්ගේ සේවය ස්ථිර කරන්නැයි ඉල්ලා විරෝධතාවක්



(රංජිත් රාජපක්ෂ)                      
 
මධ්‍යම පළාත් සභාව විසින් 2015 වසරේ වතුකරයේ පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහා බඳවා ගත් ගුරු සහයකවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස බලකරමින් ගුරුවරු පිරිසක් අද(27) නුවරඑළිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
 
මධ්‍යම පළාතේ වතු පාසල්වල ගුරු පුරප්පාඩු පැවති නිසා රුපියල් 6,000 සහ රුපියල් 10,000 මාසික දීමනාවක් යටතේ මෙම ගුරු සහයකවරුන් වතුකරයේ පාසල්වලට අනුයුක්ත කර තිබුණි.
 
එසේ අනුයුක්ත කර සිටි සහයක ගුරුවරුන් අතරින් ගුරුවරුන් කිහිපදෙනෙකුගේ සේවය පමණක් මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ස්ථිර කර ඇති බවත්, තවත් විශාල පිරිසක් ස්ථිර කිරීමට ඇති බැවින් එම පිරිසටද කඩිනමින් ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත් බල කරමින් ගුරු සහයකවරු පිරිස උද්ඝෝෂණයේ යෙදුණහ.