ගිනිඅවි - ඇත්දළ ළඟ තබාගත් සැකකරු රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ගිනි අවි තුනක කොටස් ද විවිධ ප්‍රමාණයේ ඇත් දළ හතරක්  ළඟ ගත්තැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රණේපුර හේවගේ පේමසිරි නමැති 58 හැවිරිදි සැකකරුවෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින්  ගිනි අවි සහ ඇත්දළ රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සැකකරු ඉමදුව හව්පෙ ප්‍රදේශයේ ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පවත්වා ගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරී කණ්ඩායමක් එම ස්ථානය වටලා ගිනිඅවි සහ ඇත්දළ 4 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉමදූව පොලිසියට බාරදී ඇත.