ගිංතොට තුනීලෑලි සංස්ථාවේ සේවකයෝ උද්ඝෝෂණයක


(සිරංගිකා ලොකුකරවිට සහ ඩී. ජී. සුගතපාල)

ගිංතොට තුනීලෑලි සංස්ථාව බේරා දී සේවක වැටුප් ගෙවීමට කටයුතු කරන්නැයි ඉල්ලමින් එහි සේවක සේවිකාවෝ පිරිසක් අද (24) ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වූ  ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

නව රජය පත්වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ප්‍රථම රැස්වීම අද (24) ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී පැවැත්විණි.

එම උද්ඝෝෂණයට සහභාගී වූ තුනී ලෑලි සංස්ථාවේ සේවක සේවිකාවන් කියා සිටියේ වැටුප් ගෙවීමට නොහැකිබව පවසමින් පෙබරවාරි මාසයේ සිට ගිංතොට තුනී ලෑලි සංස්ථාව වසා දමා තිබෙන බවය. ආයතනය වසා දමනවිට එහි සේවකයන් 200ට වැඩි පිරිසක් රැකියාවේ නිරතවූ බවත් ඉන් 150ක් ස්ථිර සේවකයන් බවත් ඔවුහු පැවසුහ. මේ කිසිවකුට පෙබරවාරි මාසයේ වැටුප හෝ මෙතෙක් ගෙවා නැත. මේ සම්බන්ධයෙන් ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ ජනාධිපතිවරයා පවා දැනුම්වත් කිරීමට කටයුතු කළ බව ද ඔවුහු කියති.

(ඡායාරූප - ඩී. ජී. සුගතපාල)