ගැටුමකට සම්බන්ධ 11 ක් අත්අඩංගුවට - 5ක් රිමාන්ඩ්


(රංජිත් රාජපක්ෂ)

හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් 5දෙනෙකු මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, ගැටුමට සම්බන්ධ සිසුන් 6 දෙනෙකු එදින දක්වා පරිවාස භාරයේ තැබීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
 
ඉකුත් 9 වෙනි දින එම ක්‍රීඩාංගණයේ පැවැත්වූ ක්‍රිකට් තරගාවලියට සහයෝගයට පැමිණි කුඩා ළමුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග ගොස් වැඩිහිටියන් කිහිපදෙනෙකු ද ඊට මැදිහත් වී ඇත. 
 
එම ගැටුම පසුව හැටන්  ඩයගම ප්‍රධාන මාර්ගයේ දික්ඔය දරවල ප්‍රදේශයේදි යළිත් ඇති වී ඇති අතර තිදෙනෙකු තුවාල  ලබා ඇත. තුවාලකරුවන්ගේ එක් අයෙකුගේ තත්ත්වය බරපතල හෙයින් ඔහු මහනුවර ශික්ෂන රෝහල වෙත මාරුකර යවා ඇති බව හැටන් පොලිසිය පැවසුවේය.
 
මෙම ගැටුමේදී ගල්, මුගුරුවලින් දෙපාර්ශවයම පහරදීම් කර  ඇති අතර 12-15 අතර වයස් කාණ්ඩවල පසුවන ළමුන් කිහිපදෙනෙකු සහ 25 -30 වයස් කාණ්ඩවල පසුවන වැඩිහිටියන් කිහිපදෙනෙකු  මැදිහත් වි ඇති බවය පොලිසිය කියා සිටියේය.
 
දෙපාර්ශවයේ ඇති වු ගැටුම ඒ අසළ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබූ අතර, එම දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලිසිය ඔවුන් අධිකරණය වෙත  ඉදිරිපත් කර ඇත.