ගාල්ල පොලිස් වසමෙන් සැකපිට 18ක් අත්අඩංගුවට


(ඩී. ජී. සුගතපාල) 
 
ගාල්ල පොලිස් වසම තුළ අද (01) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 18දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 46කි.
 
ගිංතොට, දංගෙදර, ආදි ප්‍රදේශවල කරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් අතර දෙමටගොඩ, කෙසෙල්වත්ත, වැලිගම සහ කාතන්කුඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් කිහිප දෙනෙකු ද වන බව පොලිසිය පවසයි.
 
දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් සිව්දෙනෙකු මැයි 24 දක්වා රඳවා තබා ගැනීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පේමරත්න තිරාණගම මහතා ගාල්ල පොලිසියට අවසර ලබාදී ඇත. තවත් සැකකරුවන් කිහිපදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. 

දර්ගානගරයේදි අත් අඩංගුවට ගෙන ඇති අයි. එස්. අයි. එස්. සංවිධානයට සම්බන්ධ සැකකරු ගාල්ල දංගෙදර පල්ලියට රාත්‍රියේ  පැමිණ මුස්ලිම් දේශයක් නිර්මාණය කිරීම සඳහා අයි.එස්.අයි.එස්.සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම්  පිළිබඳව දේශන පවත්වා ඇති බවත් ඔහුව කැඳවා ඇත්තේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකු විසින් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
 
අත්අඩංගුවට ගෙන ඇති ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ බවට සැකකරන  තවත් පුද්ගලයින්  සන්තකයේ තිබී අරාබි බසින් මුද්‍රණය කරන ලද පොත්, පත්‍රිකා සහ ත්‍රස්ත ප්‍රහාර දර්ශන ඇතුළත්  ජංගම දුරකතන කිහිපයක්ද සොයාගෙන ඇත.

අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.