( අමල් වික්‍රමරත්න )
මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා පීඩාවට පත් ප්‍රදේශවාසීහු අද (09) ගාල්ල බද්දේගම මාර්ගය හරස්කර විරෝධතාවයක නිරත වූහ.
ස්ථාන කිහිපයක ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් සුළු වැස්සකදී පවා ඇළ මාර්ගය දෙපස නිවාස ජලයෙන් යටවෙන බැවින් මීට වහා විසඳුම් දෙන්නැයි ඉල්ලමින් ඔවුහු විරෝධය දැක්වූහ.
නගර සභාවෙන් ඉටුවිය යුතු සේවාව තමනට නිසි පරිදි ඉටු නොවන බවද ඔවුහු කීහ.
අදාළ බලධාරීන් පැමිණෙන තුරු එම ස්ථානයෙන් ඉවත්නොවන බව විරෝධතාකරුවන් පැවසු අතර පොලිස් නිලධාරීන් අදාළ අංශ දැනුවත් කිරීමෙන් පසු ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් වරයා සහ ගාල්ල මහනගර සභාවේ නිලධාරීහූ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියහ.
එම නිලධාරීන් විරෝධතාකරුවන්ට පැවසුවේ දැනට කාණූ පද්ධතියේ අවහිරතාවයන් ඉතාම ඉක්මනින් ඉවත් කරන බවටත් මොරගොඩ ඇළ ව්‍යාපෘතිය කඩිනම් කරන බවටත් පොරොන්දු වන බවයි.ඉන්පසුව විරෝධතාකරුවෝ විසිර ගියහ.





