ගල් තලාවක් පුපුරුවා හැර නිදන් හෑරීමට උත්සහ කළ 2 ක් අත්අඩංගුවට


(ඩී.කේ.රත්න)

සෙවනගල හඹරුගල ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක ගල් තලාවක් පුපුරුවා හැර නිදන් හෑරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇතැයි සෙවනගල පොලිසිය පවසයි.

අගුණකොලපැලැස්සේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු සහ සෙවනගල හඹරුගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 17  ක පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී  සැකකරුවන් සන්තකයේ  තිබී ඩෙටනේටර් තුනක් , රසායනික දියර වර්ගයක් , පිගන් තුනක් , ලී කණු කීපයක් සහ පන්දමක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක ගල් තලාවක් පුපුරුවා හැර නිදන් හෑරීමට උත්සහ කරන බවට සෙවනගල පොලිසියට ලැබුණු තොරතුරක් මත සෙවනගල පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.