ගරාජයක තිබූ ත්‍රිරෝද රථයකට ගිනි තබා - යතුරුපැදියකුත් සොරාගෙන


(එස්. ඩි. කොඩිකාර)

දෙනියාය, බෙවර්ලිය ප්‍රදේශයේ   පාසල් මාවතේ ගරාජයක නවතා තිබූ ත්‍රිරෝද රථයක් අද අලුයම ගිනි තබා  එම ගරාජයේ නවතා තිබූ යතුරු පැදියක් ද  සොරකම් කරගෙන ගොස් ඒ ආසන්නයේ පිහිටි තේ වත්තක  දමා ගොස් තිබියදී අද (14) සොයාගත් බව දෙනියාය පොලිසිය කියයි.

ගරාජය තිබූ නිවසට යාබද නිවසේ කාන්තාවක ත්‍රිරෝද රථය ගිනි ගන්නා අයුරු දැක එහි හිමිකරුට දැනුම් දී ඇත.

පොලිසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන්  එම ස්ථානයට යනවිටත් ත්‍රිරෝද රථය මුළුමණින්ම ගිනිබත් වී ඇතැයි පොලිසිය කියයි. 

මෙම රථය (36) හැවිරිදි ,බෙවර්ලිය වත්ත,ඉහළ කොටසේ පදිංචි තංගවේළු සුප්‍රමනියම්  නමැත්තෙකුට අයත් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ගිනි තබන ලද ත්‍රිරෝද රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 06 ක් පමණ වන බව පොලීසිය  පවසයි.

ත්‍රිරෝද  රථයේ හිමිකරු අසල්වැසියෙකුගේ  නිවසෙහි ගරාජයක් සාදා එහි ගාල් කරන බවට  රථයේ හිමිකරු පොලීසියට පවසා ඇත.
 
සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

දෙනියාය පොලිසිය මේ සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.