කොරියන් භාෂා විභාග අයදුම්පත් සඳුදා සිට


විනීතා එම් ගමගේ
 
කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සඳුදා (26) සිට මාර්තු 02 වැනිදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
 
අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, මඩකලපුව,           අම්පාර,  හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය,  පොළොන්නරුව,   ත්‍රිකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය යන ප්‍රදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වලදී අයදුම්පත් නිකුත් කිරීම සිදු වෙයි.
 
මෙවර විභාගය නිශ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පරිගණක ආශ්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා මැයි 25 සිට ඔක්තෝම්බර් 5 දක්වාත්  පැවැත්වීමට නියමිතය.
 
වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය. අයදුම්පත්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5«4.5 ප්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ. අයදුම්පත්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ්‍රි ලංකා මුදලින් රුපියල් 3772.00 ගෙවිය යුතුවේ. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ  වලංගුව පවතින බවද කාර්යංශය කියයි. 
 
කොරියාවේ රැකි රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත්   ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා හිමිවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කොරියානු විභාගය පිළිබඳ අදහස් දක්වමින්  පැවැසුවාය.