කෙන්යානු කතකගෙන් කොකේන් ගුලි 20 ක් එළියට ගනී



 
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
කොකේන් තොගයක් ගමන් මල්ලේ හා සිරුරේ සඟවා ගෙන නීතිවිරෝධී අන්දමට කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ ආමාශගතව තිබූ කොකේන් ගුලි 20 ක් අද (19) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී විරේක කරවා සිරුරෙන් ඉවතට  ගැනීමට හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් අසූ ලක්ෂයකට වැඩි බව පොලිසිය පවසයි.

දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ 35 හැවිරිදි කෙන්යානු ජාතික  කාන්තාව  පසුගියදා 17 වැනි දා සවස අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව මෙම කෙන්යානු ජාතික කාන්තාව සහ ඇය විසින් රැගෙන විත් තිබූ කොකේන් ගුලි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දී තිබේ. 

කොකේන් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරිය ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ අවස්ථාවේ ඇය තවත් කොකේන් තොගයක්, උපත් පාලන කොපු තුළ බහා, ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බව අනාවරණය වීමෙන් පසුව කාන්තාව මීගමුව දිස්ත්‍රීක් මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇත.