(උපේන්ද්‍ර ප්‍රියංකර)
සිංහරාජ වනාන්තරයෙන් රහසිගතව රැගෙන ගිය කෘමීන්, සමනලුන් හා ශාඛ තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ස්ලෝවැකියානු ජාතිකයින් පස්දෙනා අද (06) කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කලවාන මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.
මෙම සැකකරුවන් කලවාන අඩවි වන කාර්යාලය මගින් පසුගිය 02වනදා අත්අඩංගුවට ගෙන රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය වෙත එදිනම ඉදිරිපත් කළ අතර සැකකරුවන් අද (06) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් එදින කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරුණි.
සබරගමුව සහ දකුණු පළාත් භාර නියෝජ්‍ය වන සංරක්ෂණ ජී. එම්. එස්. කුමාරසිරි, රත්නපුර අඩවි වන නිලධාරී පී.ජී. ප්‍රසාද් යන මහත්වරුන්ගේ උපදෙස් මත කලවාන අඩවි වන නිලධාරී ආර්. එම්. එල්. රත්නවීර, කලවාන වැඩ බලන අඩවි වන නිලධාරී එම්. පී. බණ්ඩාරනායක යන මහත්වරු ද අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.