(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුන්ද කන්ද රක්ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්ෂිතය අවට ගම් වලට විශාල වශයෙන් පැතිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇති වී ඇතැයි බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුඩා කුහුඹු විශේෂයක් මෙසේ අවට නිවාස වලට තර්ජනයක් වන අයුරින් පැතිරෙන්නට පටන්ගෙන ඇතැයි බවයි. ලබුදූව ප්‍රදේශයේ නිවාස වලටත් කුහුඹුවන් පැතිරෙන්නට පටන්ගෙන ඇතැයි තමාට වාර්තා වූ බව ඒ මහතා තවදුරටත් පැවසීය.මෙවැනි කුහුඹු විශේෂයක් මීට පෙර තේ ඉඩම් වල සිටි බවට වාර්තා වූ බවත් ලලින්ද ගමගේ මහතා පවසයි.
කුහුඹුවන් ගමන් කළ පාරවල් බිත්ති පුරාම දක්නට ලැබෙන බවත් නිවාස අහුමුළුවල පොදිගැසී සිටින බව ද ගම්වැසියෝ පවසති.
මේ සම්බන්ධව හික්කඩුව වනජීවී කාර්යාලයට දැන්වූ විට එහි නිලධාරීන් පැමිණ පරීක්ෂා කර ඇති අතර කෘමිනාෂක වර්ගයක් භාවිතා කර සතුන් විනාශ කළ හැකි බවත් ඒ සඳහා වාර්තාවක් සකස් කර තමන් වෙත යොමු කරන බව දැන්වූයේ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ ද පැවසීය.
කුරුන්ද කන්ද සහ කුරුන්ද ග්‍රාමසේවක වසම් වල නිවාස විස්සකට තිහකට පමණ මේ කූඹි තර්ජනය තියෙනවා. වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඇවිත් මේ ගැන පරීක්ෂා කළා. කෘමිනාෂකයක් මගින් සතුන් විනාශ කරන්න පුළුවන් කියලා ඔවුන් පැවසුවා. ඒ සඳහා වැඩ කුලියත් සමඟ රුපියල් ලක්ෂයක් පමණ වියදම් වනු ඇති බවත් ඇස්තමේන්තුවක් සකස් කර එවන බවත් ඔවුන් පැවසුවා.