කුෂාන් ජයවර්ධන
කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප්‍රදේශයට අයත් නගර කිහිපයක විදුලි පාරිභෝගික සේවා කාර්යාලවල සේවකයෝ අද (07) උදෑසන 9.00 සිට පාරිභෝගික සේවා හා බිදවැටීම් ඇතුළු නඩත්තු කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.
මෙම විරෝධයට එක්ව ඇත්තේ කැකිරාව, තඹුත්තේගම හා ගලෙන්බිඳුණුවැව විදුලි පාරිභෝගික සේවා කාර්යාලවල සේවකයින් පිරිසකි.
විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු පෙරේදා(05)තඹුත්තේගම නගරයේදී පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තඹුත්තේගම පදිංචි ව්‍යාපාරිකයකු මෙතෙක් පොලිසිය අත්අඩංගුවට නොගැනීම පිළිබඳව මෙම විරෝධය පළකරන බව විදුලි බල මණ්ඩල සේවකයෝ පවසති.
මාසික විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් ලද විසන්ධි කිරීමේ නියෝග මත තඹුත්තේගම නගරයේ පිහිටි ලැගුම්හලක් ඇතුළු ස්ථාන කිහිපයක රාජකාරියේ නිරත වෙමින් සිටි සේවකයින් දෙදෙනා එම ලැගුම්හලේ හිමියා සහ තවත් අයෙකු මෝටර් රථයකින් පැමිණ පැහැරගෙන ගොස් පහරදී ඇත.
ඔවුන් සතු විදුලි බල මණ්ඩලයට අයත් දත්ත ඇතුළත් ටැබ් පරිගණකයකට ද අලාභ හානි සිදුකර තිබිණ.
පහරකෑමට ලක්වූ සේවකයන් තමන්ට එල්ලවූ ප්‍රහාරය හා රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් තඹුත්තේගම මූල්ස්ථාන පොලිසියට පැමිණිලි කර පැය 24කටත් වඩා වැඩි කාලයක් ගතව එම ලැගුම්හල් හිමියා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැතැයි විදුලි සේවකයෝ පවසති.
සැකකාර ව්‍යාපාරිකයාගේ පහරකෑමට ලක්වූ සේවකයෝ තඹුත්තේගම රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.