කාබනික පොහොර නිශ්පාදකයන්ට දීමනාවක්


අංජුල මහික වීරරත්න
 
දිවයින පුරා කරගෙන යන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිරි දීමනාවක් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වලට අද (15) උපදෙස් දුන්නේය.

 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදෙස් දුන්නේ  ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පුර්ණ කාබනික පොහොර ධාරිතාවය ඉදිරි වසර 5ත් 6ත් අතර දී සම්පුර්ණයෙන්ම සපුරා ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙසයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී   අතුරලියේ රතන හිමියන් ප්‍රධානවී කළ ඉල්ලීමක් අනුව ග්ලයිෆොසෙට් කෘෂි රසායනිකය ලංකාවට ගෙන ඒම අත්හිටුවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය.
 
වී වගාව ඇතුළු ශ්‍රී ලංකාවේ කෙරෙන ආර්ථික බෝග සඳහා අවශ්‍ය පොහොර අතුරින් කාබනික පොහොර සපයා ගැනීමට ඇති ප්‍රබල හිඟය නිසා රසායනික පොහොර භාවිතය තවදුරටත් පවත්වාගෙන යාමට සිදුවෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දී ඇත.
 
ඉහත කරුණු සියල්ල සලකා බැලු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන ලෙස කාබනික පොහොර සහනාධාරය දෙන ලෙස අදාල අංශ වෙත උපදෙස් නිකුත් කරනු ලැබීය.