කහ තිත් පළගැටියා දකුණේ ව්‍යාප්තවීම පාලනය කෙරේ


(සුමතිපාල දීයගහගේ) 

බෝග වගාවන් විනාශ කරන කහතිත් පළගැටියා දකුණු පළාත තුළ  ව්‍යාප්තවීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගෙන  ඇතැයි දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා පවසයි.
 
කුරුනෑගල සහ මාවතගම යන ප්‍රදේශවලින් ප්‍රථමයෙන් හමුවූ කහ තිත් පළගැටියා පසුව දකුණු පළාතේ කිරින්ද පුහුල්වැල්ල, ඌරුගමුව, බෙලිඅත්ත සහ වලස්මුල්ල යන ප්‍රදේශවලද සුලු වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණි.
 
ඒ අනුව මෙම පළගැටියා තවදුරටත් ව්‍යාප්තවීම වැලැක්වීම සදහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පළගැටියා සිටි ස්ථානවලට කෘෂි රසායනික දියර ඉසීම, ගිනි තැබීම් සහ කුරුදු ඉඩම් එළි පෙහෙලි කිරීම් ආදිය කිරීමට  පියවර ගෙන ඇත. ඉන්පසු මෙම පළගැටියා පැතිර යෑම සම්පුර්ණයෙන්ම පාලනය කරගැනීමට හැකිවූ බවද කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවසීය.
 
දකුණු පළාතේ කෙසෙල් වගාව, විසිතුරු ශාඛ පත්‍ර සහ කුඩා පොල් ගස් කීපයකදිද කහ තිත් පළගැටියා හමුවු බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා සදහන් කළේය.