කම්හලක අපජලය ඇළකට දැමූ රියදුරා අත්අඩංගුවට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
කම්හලකින් බැහැර වන අපජලය බවුසර් රථයකින් ප්‍රවාහනය කරමින් අද(17) කොළඹ මහනුවර මහා මාර්ගයේ දං ඕවිට ප‍්‍රදේශයේදී ඇළ මාර්ගයකට මුදාහැරීමේ යෙදුණු රියදුරා අත්අඩංගුවට ගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  අලව්ව ප‍්‍රදේශයේ පිහිටි පොල් කිරි නිෂ්පාදන ආයතනයක අපජලය ගෙන යමින් තිබූ රියදුරෙකි.
 
බවුසරයෙන් ගෙනා අපජලය ඇළ මාර්ගයට මුදාහරිනු දුටු අසල්වැසියකු එය නවතා කළ ග‍්‍රාම නිලධාරිවරයා මගින් දැනුම්දීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම ප‍්‍රදේශයේ කලක් තිස්සේ ඉතා රහසිගතව ඇළ මාර්ගයට විෂ සහිත සුදුපැහැ අපජලය මුදා හැරීම නිසා මසුන් මිය යන බව ප‍්‍රදේශවාසීහු පැවසූහ. මෙම අප ජලය ජලජ සතුන්ට මෙන්ම මිනිසුන්ටද අහිතකරවිය හැකි බව සෞඛ්‍ය නිලධාරීහු සඳහන් කරති. 
 
මෙම කම්හලේ අප ජලය බත්තරමුල්ල ප‍්‍රදේශයට ගෙන ගොස් පිරිපහදු කළ යුතු වුවත් හිමිකරුවන්ගේ අනුදැනීම ඇතිව මෙසේ අතරමගදී මුදාහැරියේදැයි සොයා බැලීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කරමින් සිටී.
 
රියදුරාට සහ කම්හලේ හිමිකරුට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.