(මොහොමඩ් ආසික්)
වයස අවුරුදු පනහට පමණ කාන්තාවක් පුවත්පතක පළ කරන ලද මංගල දැන්වීමක් අනුව එම කාන්තාව සමඟ දුරකථනෙයන් සබඳකම් පැවැත්වූ පුද්ගලයෙකු එම කාන්තාවගෙන් අවස්ථා කිහිපයක දී රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක් වංචා කර සැඟව සිටියදී කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක්පමණ වන අවිවාහක කාන්තාවක විසින් මෙයට වසර කිහිපයකට පෙර පුවත්පතක මංගල දැන්වීමක් පළ කරනු ලැබ තිබේ.
එහි සඳහන්ව තිබූ දුරකථන අංකය අනුව එම කාන්තාව අමතා ඇති ඇයගේ වයසේම අවිවාහක පුද්ගලයෙක් ඇය විවාහ කර ගන්නා පොරොන්දුව පිට ඇය ඇසුරු කර ඇති අතර අවස්ථා කිහිපයකදී ඇයගෙන් රුපියල් එක් ලක්ෂ තිස් දහසක පමණ මුදලක් ලබා ගෙන ඉන් පසුව වසර ගණනක්ම ඇය මඟ හැර සැඟව සිට තිබේ.
මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් පමණ වන සැකකරු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදා හරිනු ලැබ තිබේ.
මංගල දැන්වීම් පළ කිරීමේදී දුරකථන අංකය පළ නොකිරීමටත් ලැබෙන පිළිතුරු සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරන්නැයි පොලීසිය පවසයි.