කඩු-පිහිවලින් පහර දී තරුණයෙක් රෝහලේ


(ඩී.ජී.සුගතපාල)
 
මිටියාගොඩ පොලිස් වසමේ කලුපෙ විශාඛා විදුහල අසළදි අද(06) පුද්ගලයෙකුට කඩුවලින් සහ පිහිවලින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි මිටියාගොඩ පොලිසිය පවසයි.
 
තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කල බවත් ඔහු කලුපෙ ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බවත් පොලිසිය පවසයි.
 
තුවාලකරු දෙල් එකතුකර විකුණන අයෙකු වන අතර පසුගිය දිනක දෙල් එකතු කිරීමට ගිය අවස්ථාවේ  පුද්ගලයෙකු සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බවත් එයට පලිගැනීමක් ලෙස මෙම පහරදී ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
 
ඔහු පාසල අසල පාර අයිනේ සිටිනවිට ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු කඩුවලින් සහ පිහිවලින් ඔහුට පහරදීමට පටන් ගෙන ඇති අතර එම අවස්ථාවේ ඔහු බේරීම සඳහා පාසල් වත්තට පැන ඇති බවත් එවිට එම සිව්දෙනාද පාසල් වත්තට පැන පහරදී පලාගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
 
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා මිටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.