කටුවන ජාතික පාසලේ මව්පියවරු සහ සිසුවෝ විරෝධතාවක


(අනීෂා මානගේ)


කටුවන ප්‍රාථමික විද්‍යාලයේ සිසුසිසුවියෝ පිරිසක් සහ ඔවුන්ගේ මාපියෝ  අද(29) එම විද්‍යාලය සහ කටුවන ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ.
 
කටුවන ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියට දරුවන් 24දෙනෙකු ඇතුළත් නොකරගැනීමට විරෝධය දක්වමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරතවූහ. 
 
කටුවන ප්‍රාථමික විද්‍යාලය අසළ සිට කටුවන ජාතික පාසල ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ විද්‍යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වී යළි කටුවන ඔරලෝසු කණුව ඉදරිපිටට පැමිණියහ.
 
කටුවන ජාතික පාසලේ පෝෂිත පාසලක් වන කටුවන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන හැදෑරු මෙම දරුවන් කටුවන ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගත්තද වෙනත් පාසල්වල දරුවන් මහා විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇතැයි මාපියෝ චෝදනා නඟති.  
 
මාස තුනකට අධික කාලයක් පාසලක් නොමැතිව නිවෙස්වලට වී සිටින දරුවන් මේ වන විට මානසික පීඩනයක සිටින බව මාපියෝ පවසති.
 
කටුවන ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියට අනුමත පන්ති කාමර හතර සඳහා දරුවන් ඇතුළත් කරගෙන අවසන් බවද අමතර පන්ති කාමරයක් ආරම්භ කර විද්‍යාලයට මෙම දරුවන් ඇතුළත් කරගැනීමට අධ්‍යාපන ලේකම්තුමාගේ අනුමැතිය තවමත් ලැබී නොමැති බවද අනුමැතිය ලද විගස දරුවන් පාසලට ඇතුළත් කරගැනීමට කටයුතු කරන බවද කටුවන ජාතික පාසලේ විදුහල්පති පී. එස්. වී. කේ. පියතිලක මහතා පැවසීය.