කටුපොල් වගාව නවත්වන්න‘ යි උද්ඝෝෂණ


(තෙබුවන ඩී.නයනදුල සෙන්දනායක)      

බුලත්සිංහල ප්‍රදේශයේ කටු පොල් වගා කිරීම නවතා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද හල්වතුර මංසන්ධියේ සිට උද්ඝෝෂණයක නිරත වූහ.

මෙම උද්ඝෝෂණය සදහා හල්වතුර, ඌරුගල, බෝතලේගම,බොතලේගංගොඩ , යටකන්ද,නවෝද්‍යාගම උදාකල ගම්මානය ඇතුළු ගම්මාන රැසක ජීවත්වන 200 කට අධික පිරිසක් සහභාගී වූහ. පිරිස හල්වතුර මංසන්ධියේ බුලත්සිංහල ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ එක්මංතීරුවක් අවහිර කරමින් පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.           

 

කටුපොල් වගාව හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදුවන බවත් ජල මුලාශ්‍ර  විනාශ වී යාමේ අවදානමක් පවතින බවත් ඒ හේතුවෙන් රජයේ මැදිහත් වීමෙන් කටුපොල් වගාව නවතා දමන ලෙස ඉල්ලා  පිරිස උද්ඝෝෂණයේ නිරත වු  අතර උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පැමිණි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් වරයා පිරිසට ලබන සඳුදා  මේ සම්බන්ධයෙන් හල්වතුර වත්තේ  පාලන අධිකාරිය බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් ඇතුළු වගකිවයුතු අංශ සමග සාකච්ඡා  කිරීම සදහා අවස්ථාවක් ලබා දෙන බව පැවසීය. එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් හල්වතුර මන්සන්ධියේ නැවත දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ මාරාන්තික උපවාසයක් කරන බව පවසමින්  පිරිස සාමකාමීව විසිර ගිය ගියහ.

ප්‍රදේශයේ ආරක්ෂාව සදහා බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් යොදවා තිබිනි.