ඌරු කොටුවට-අලි ගැටළුවට විසඳුම් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්



(නිමල් ජයරත්න)

මහා පරිමාණ ගම් ඌරු කොටුවක් හේතුවෙන් උද්ගතව ඇති සෞඛ්‍ය ගැටළු හා දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි බව සහ වන අලි ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් වැලිකන්ද සිංහපුර ගම්වාසීහු  අද (25)  උද්ඝෝෂණයක නිරත වූහ.

සෝමාවතිය-වැලිකන්ද මාර්ගය සිංහපුර මංසන්ධියෙන් අවසර කරමින් උද්ඝෝෂණකයින් පැවසුවේ වසර කිහිපයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන එන ඌරු කොටුවක් නිසා තමන් සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ පා ඇති බවයි.

මේ දිනවල පවතින වියළි කාලගුණය හා සුළඟ සමඟ හමා එන දැඩි දුර්ගන්ධය නිසා හුස්ම ගැනීමට පවා නොහැකි තත්ත්වයක තමන් පසුවන බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන් ම ජනජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති බවත් සිංහපුර ගම්වාසීහු පැවසූහ.

ප්‍රදේශයේ ඇළ මාර්ගවලට මිශ්‍ර වූ ඌරන්ගේ මළ අපද්‍රව්‍ය ඇළවල ජලය ලබාගැනීම හේතුවෙන් තම පරිහරණයට ද ගැනීමට සිදුවී ඇතැයි ඔවුහු කීහ. සිංහපුර ගම්මානයේ පවුල් 150ක සාමාජිකයන් 500කට වැඩි පිරිසක් සෞඛ්‍ය ගැටළුවලට මුහුණ පා සිටින බව ගම්වාසීහු පෙන්වා දුන්හ.

ප්‍රදේශයේ සැරිසරන වන අලියෙකු නිවසක් කඩා එහි තිබූ වී විනාශ කිරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් රාජකාරිය ඉටු නොකර ඇතැයි සිංහපුර ගම්වාසීහු විරෝධය දැක්වූහ.

මෙම විරෝධතාවය නිසා සෝමාවතිය වැලිකන්ද මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.