උමාඔය ව්‍යාපෘතියට එරෙහි නඩුව අද


(විජේරත්න රත්නායක )
 
උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් පවරන ලද නඩුව අද (30) ඌව පළාත්බද මහාධිකරණයේදී යළි විභාගයට ගැනීමට  නියමිතය.
 

මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා ඉදිරියේ ඌව පළාත්බද මහාධිකරණයේදී මීට පෙර අට වතාවක් විභාගයට ගෙන තිබේ.
 

එම නඩුව නවවන වරටත් අද විභාග කෙරෙන අතර ඉකුත් නඩු දින අවසානයේ ප්‍රකාශයන් අනුව අද දින මෙම නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම නඩුවේ ප්‍රධාන පැමිණිළිකරු වන උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

 උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍ර‍මාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස සහන ලබාදෙන ලෙස ඉල්ලා මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමාඔය සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අය වග උත්තරකරුවන් කරමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන පිරිස විසින් ඌව පළාත්බද මහාධිකරණයේ අදාළ නඩුව පවරා ඇත.