(රොමේෂ් මධුෂංඛ)
උතුරු ප්‍රදේශයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරේ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු වැසි ජලය සහ වාන් ජලය හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතින බවට උතුරේ ගොවීහු පවසති.
උතුරේ කුඹුරු රැසක මේ වන විට ගොයම් මහබණ්ඩි අවධියේ පසුවන අතර අධික වර්ෂාව හේතුවෙන් ගොයම් පෙරලීම නිසා වී පැලවීමේ අවදානමක්ද පවතින බවට ගොවීහු පවසති.
ඊට අමතරව මේ දින වල උතුරේ වැව් සියල්ලක්ම මෙන් වාන් දැමීම සිදුවන අතරම වාන් ජලය හේතුවෙන් කුඹුරු රැසක් ජලයෙන් යටවී ඇති අතර ජලය ගලා නොබැසීම හේතුවෙන් ගොයම් නරක් වීමේ අවදානමක්ද පවතින බවට ගොවීන් පෙන්වා දෙයි.
ඉදිරි දින කිහිපයේදී මෙලෙසින් වැසි සහිත කාලගුණය පැවතියහොත් උතුරේ කුඹුරු රැසක් මහකන්නයේ වී අස්වැන්න විනාශ වීමේ අවදානමක් පවතින බවට උතුරේ ගොවි සංවිධාන විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.