උඩුනුවර ප්‍රදේශීය සභාව උණුසුම්


(චමිල් රූපසිංහ)
 
උඩුනුවර ප්‍රදේශීය සභාවේ 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව  අද (07) සම්මත විය. 
 
අය වැය යෝජනා වාර්තාව පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.
 
මෙම යෝජනා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනෙක් සහ මහජන කොන්ග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පක්ෂව ඡන්දය ලබා දුන්හ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 17 දෙනෙක්,  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඡන්ද දීමෙන් වැළකී සිටියහ.
 
ඒ අනුව උඩුනුවර ප්‍රදේශීය සභාවේ අයවැයට පක්ෂ සහ විපක්ෂව සමව ඡන්දය හිමි වූ අතර ප්‍රදේශීය සභා පනතේ බලතල අනුව සභාපතිවරයාගේ ඡන්දය ලබා දීමෙන් අනතුරුව උඩුනුවර ප්‍රදේශීය සභාවේ අයවැය සම්මත විය.
 
උඩුනුවර ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ඒ අවස්ථාවේ සභා ගර්භයේදී හිටපු සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල විය.
 
උඩුනුවර ප්‍රදේශීය සභාවේ ලේකම්වරියට සහ මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයන් එල්ල වූ අතර මේ සිද්ධිය පිළිබඳ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.