උඩහිඟුල්වල නිවසක දෙදරු මවකගේ සිරුරක්


(මොහොමඩ් ආසික්)

පූජාපිටිය  පොලිස් බල ප්‍රදේශයට අයත් උඩහිඟුල්වල පතිරාදවත්ත ප්‍රදේශයේ නිවසක සිය පුතා සමඟ පදිංචිව සිටි දෙදරු මවක් නිවස තුළ මිය ගොස් සිටියදී අද (01) හමුවී තිබේ. මළ සිරුරෙහි බාහිර තුවාල දක්නට ලැබුණු බැවින්  මෙය  සැක සහිත මරණයක් ලෙස   පරීක්ෂණ පැවැත්වීමට තීරණය විය.

පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය හාරිස්පත්තුව ගලසියපත්තුව හදිසි මරණ පරීපක්ෂක  එල්.බී.ඩබ්ලිව්.සේනාරත්න මහතාට දන්වා මූලික හදිසි මරණ පරීක්ෂණය පවත්වා  ඇත.  

මෙලෙස මිය ගොස්  ඇත්තේ උඩහිඟුල්වල ප්‍රදේශයේ  පදිංචිව සිටි  පහළ ගෙදර සීලවතී නැමැති 62 හැවිරිදි  දෙදරු මවකි.  

මෙම මරණය සම්බන්ධයෙන් ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කරනු ලැබ ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ  පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

පූජාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බණ්ඩාර මහතා සමඟ පොලිස් පරික්ෂක මහින්ද රාජපක්ෂ පොලිස් පරීක්ෂක නාරද යන මහත්වරුන්  ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ කටයුතු කරති.