(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම පිටිපන දකුණ ප්‍රසන්නපුර ප්‍රජාශාලාවේ වසර හයක පමණ කාලයක සිට වාසය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇළ මාර්ගයක් අසල තිබී අද (21) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සුද සිංහගේ ප්‍රේමසිරි නැමැති 65 හැවිරිදි අවිවාහක අයෙකු බව පොලිසිය කියයි
ප්‍රසන්නපුර ප්‍රදේශයේ වෙල්යායක ගොයම් කපමින් සිටි පුද්ගලයෙකු ඇළ මාර්ගයක් අසල වැටී මියගොස් සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර දැක ඇති බව පොලිසිය පැවසීය.
පසුව මේ බව ගොයම් කපමින් සිටි අනෙක් පිරිසට ද දන්වා පොලිසිය දැනුවත් කර තිබේ.
පසුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී වෙල්යායේ ඇළ මාර්ගය අසල මුනින් අතට වැටී මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයා ගත්බව පොලිසිය කීය.
හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු බී.එව්.කේ.චින්තක උදයකුමාර මහතා මළ සිරුර තිබූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.
මෙම පුද්ගලයාගේ මරණය ඝාතනයක් ද නැතහොත් සාමාන්‍ය මරණයක් ද යන්න පිළිබඳව සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළේය.