ඇලහැර ගොවීහු මොරගහකන්දෙන් වතුර ඉල්ලති


(ක.ග. කරුණාරත්න)

රජරට ජනතාවගේ ජල හිඟයට විසඳුම් ලැබෙන බව කී මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේ සිහිනය සැබෑවී ඇතත් ඇලහැර ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය මේ වන උග්‍ර වී ඇතැයි ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ආනන්ද එදිරිසුරිය මහතා පවසයි.

“මොරගහකන්ද ඉදිකරන විට අප සිතුවේ එය ඇලහැරට ආශිර්වාදයක් වෙයි කියලා. නමුත් දැන් ඇලහැර අමුණේ සිට යෝධ ඇලේ වතුර බින්දුවක් එන්නේ නෑ. අපේ කුඹුරු වේලිලා. දැනට අක්කර අඩි 130 000ක් පමණ වතුර තියෙන මොරගහකන්ද ජලාශයෙන් අපිට වතුර මුර දෙකක් ලබා දෙන්න.“

“ඇලහැර වගාවන් වතුර නැතිව විනාශ වෙමින් තියෙනවා. බීමට ජලය ගන්නා ළිං පවා සිඳෙමින් පවතින්නේ. එනිසා ඇලහැර අමුණට අක්කර අඩි 500ක ප්‍රමාණයක් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

අද (25 වැනිදා) පැවැති පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පැවසීය.