ආරච්චිකට්ටුව ප්‍රා.සභා සභාපති පුටුව ශ්‍රීලනිපයට



 
(ජූඩ් සමන්ත)

 
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කේ.තෙච්චනාමුර්ති මහතා හා උපසභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ එච්.ඒ.උදය ශාන්ත මහතා තේරී පත් විය.

වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

හලාවත මහාධිකරණයෙන් කරන ලද නියෝගයක් අනුව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම  අවස්ථාවට කැඳවාගෙන එන ලදී.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාපතිවරයා පත් කිරීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව සභාපති ලෙස ජගත් සමන්ත පෙරේරා යන අයගේ සහ කේ.තෙච්චනාමුර්ති මහතාගේ නම් යෝජනා විය.

ඒ සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී  දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගත්තේය. පසුව කුසපත් ඇදීමකින් කේ.තෙන්නාමුර්ති මහතාට ජය හිමි විය.

උප සභාපතිවරයා ලෙස එච්.ඒ.උදයශාන්ත මහතාගේ සහ ආර්.පී.විජේතුංග යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. 

එහිදී විවෘත ඡන්දයක් විමසු අතර දෙදෙනාම ඡන්ද 10 බැගින් ලබා ගත්තේය. පසුව කුසපත් ඇදීමෙන් එච්.ඒ.උදයශාන්ත මහතා උපසභාපති ලෙස තේරී පත්විය.
 
මෙම අවස්ථා දෙකේදීම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරයා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියේය.