(බිඟුන් මේනක ගමගේ )
තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇතැයි ද පක්ෂයේ සභාපති , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන්ට ඒ ගැන ලිඛිතව දැනුම්වත් කරන්නේ යැයි ද උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමේදී පහරකෑමට ලක්ව රෝහල්ගත කර සිටින ශ්‍රීලනිප මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සංවිධායක බන්දුල සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
උඩුනුවර ප්‍රාදේශීය සභාව පිහිටුවන අවස්ථාවේදී ද මෙපරිද්දෙන්ම තමාට පහරදීමක් සිදු වී ඒ සම්බන්ධයෙන් ද මීට පෙර පොලිසියට පැමිණිලි කළේ යැයි ද එම අවස්ථාවේදී සිද්ධිය සමථයකට පත් වී යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිලි තුනක් සිදුකර ඇතත් මේ වනතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදුව නැතැයි ද සෙනෙවිරත්න මහතා චෝදනා කළේය.
ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව තමා ඇතුලු ශ්‍රීලනිප මන්ත්‍රීන් සහාය පළ කළේ ජනතාවගේ පැත්තෙන් සිතා යැයි ද ඊට මතවාදීව පහර දීම වෙනුවට කායික හිංසනයට යොමුවීම ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් අනුගත නොවන්නේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වූ අයවැය විවාදය පසුගිය 7 වැනිදා පැවැති අතර ඡන්දය විමසීමේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ද සහායෙන් අයවැය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය.
මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවූයේ එම අවස්ථාවේදීය.