අ’පුරේ ප්‍රා.ලේ කාර්යාලය ඉදිරිපිට අඹුසැමි යුවළක් විරෝධතාවයක


(දයාරත්න ඇඹෝගම)
 

අනුරාධපුර පොලිසියට විරුද්ධව තමා හා තම බිරිඳ විසින් මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කිසිදු සාධාරණ විමර්ෂණයක් සිදු වී නැතැයි පවසමින් අඹුසැමි යුවළක් අද (15) මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.

මෙසේ විරෝධතාවයේ නිරත වුයේ ඩබ්. ජී. ඒ. විජේරත්න සහ ජී. එච්. සුදර්මා ශාන්තිලතා යන යුවළයි.

ශ්‍රාවස්තිපුර, මොරගොඩ ප්‍රදේශයේ තම නිවස ආසන්නයේ පවත්වා ගෙන ගිය සත්ව ගොවිපළ අනුරාධපුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරින් විසින් අසාධාරණ ලෙස තහනම් කර තමාව බන්ධනාගාර ගතකර සිය මූලික අයිතිවාසිකම් ද කඩ කර ඇති බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට තමා ඉදිරිපත් කළ පැමිණිලි පොලිස් නිලධාරින් පමණක් ගෙන්වා පරීක්ෂණ පවත්වා අවසන් කළේ යැයි ඔවුහු මානව හිමිකම් කොමිසමට චෝදනා කළහ.