අ’පුර වෛද්‍යවරයකුට පහරදීමට විරෝධය



 
(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට තර්ජනය කොට පහර දීමට තැත් කළ පුද්ගලයෙක් පොලිසිය මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තිය ක්‍රියා මාර්ගයකට යොමු වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අද (2) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී පැවසිය.

ගල්ගමුව නගරයේදී ඊයේ (1) දින සිදුවු රිය අනතුරකින් ගල්ගමුව මහ රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කොට එවන ලද කේ.ඒ.අයි.ලක්රුවන් රණතුංග (29) නැමති රෝගියක් ප්‍රතිකාර සිදු කරමින් සිටියදී මෙලෙස මිය ගොස් තිබිණි.

මෙම රෝගියාගේ මරණය සම්බන්ධයෙන් උරණවු මියගිය අයගේ සහෝදරයකු විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවේ ප්‍රතිකාර සිදුකළ වෛද්‍යවරයාට තර්ජනය කොට පහර දීමට තැත්කළ බවට වෛද්‍යවරු චෝදනා කරති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරැ විසින් අනුරාධපුර මුලස්ථාන පොලිසියට පැමිණිලි කලද ගල්ගමුව ප්‍රෙද්ශයේ පදිංචි සැකකරැ මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බව වෛද්‍යවරැ පවසති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අද (2) පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසුවේ මෙම රෝගියා සැත්කමක් සිදු කිරිම සඳහා වෛද්‍යවරු කටයුතු කරමින් සිටි නමුත් එසේ තිබියදී මෙම රෝගියාගේ සහෝදරයකු විසින් වෛද්‍යවරයාට පහර දිමට තැත් කරනු ලැබීය.