(ක.ග.කරුණාරත්න)
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් අලිංචිපතාන විල්ලුවට අනවසරයෙන් ඇතුළුවී පරිසරය විනාශ කරමින් වී ගොවිතැන් කළ බව කියන පුද්ගලයෙකු ඇප මත මුදාහරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(21) නියෝග කළේය.
ඒ අනුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත සැකකරු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ වැලිකන්ද, නවසේනපුර, ඇතුගල, අංක171 ලිපිනයේ පදිංචි අච්චි මොහමදු නසීර්මුදීන් යන අයයි.
අලිංචිපතාන විල්ලුවට අනවසරයෙන් ඇතුළුවීම, විල්ලුවේ පරිසරය වෙනස්කර එයට හානි සිදුකරමින් වී ගොවිතැන් කිරීම, විල්ලුවේ ශාක පුළුස්සා විනාශ කිරීම, වන සතුන්ට හානිකර ලෙස විද්‍යුත් පරිපථයක් සහිත විදුලි වැටක් ඉදිකිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.
පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.