(මනෝප‍්‍රිය ගුණසේකර)
කුලියාපිටිය මූලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්‍ය රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේඥ වෛද්‍යවරයාට හෙට (22) දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
නඩු ප‍්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු දෙවැනි ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වශ්‍යයෙන් පවරා ඇති මෙම නඩුවේ විත්තිකරු වන කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ විශේඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එලෙස සිතාසි නිකුත් කළේය.
මෙම ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ කටයුතු කරන ආර්. ගුරුසිංහ, කොළඹ මහාධිකරණයේ කටයුතු කරන ශෂි මහෙන්ද්‍රන් සහ මීගමුව මහාධිකරණයේ කටයුතු කරන අමල් රණරාජා යන මහතවරුන් කටයුතු කරයි.
2016 ජුනි මස පළමුවැනිදාත් අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලයේ කුලියාපිටිය මුලික රෝහලේ විශේඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී එම රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ‘සත්සුව රසායනාගාර’යට ලබාදීම සඳහා එම රසායනාගාරයේ හිමිකරු වන අතුල රත්නසිරි මහතාගෙන් මාස්පතා රුපියල් 25,000/-බැගින් අල්ලස් ඉල්ලා ඉන් රුපියල් රුපියල් 75,000/-ක අල්ලසක් නිරෝෂන් නිකුලස් නමැත්තා මඟින් ලබා ගත් බවට විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා ඇත.
විත්තිකාර විශේඥ වෛද්‍යවරයාට එරෙහි නඩුවේදී නඩු භාන්ඩ හා ලේඛණ 28ක් ඉදිරිපත් කරන බවද පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සඳහා කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සහ වෛද්‍යවරුන් ඇතුළු සාක්කිකරුවන් 25 දෙනෙකු කැඳවීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිසම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.