(චාපා මධුභාෂිණී)
මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයේ පදිංචි සොහොයුරන් දෙදෙනෙකු අතර අද (02) ඇති වූ ගැටුමකදී අයියා විසින් එල්ල කළ පොලු පහරකින් මල්ලී මරණයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහරත්මලේ, මින්නේරිය ප්‍රදේශයේ පදිංචි සුවාරිස්ගේ ගුණපාල නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන එම නිවසේම පදිංචි අයියා මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ ඔහුගේ සොහොයුරා අතර ඇති වූ ආරවුල දුරදිග ගොස් වැඩිමහල් සොහොයුරා විසින් පිටපළු ලෑල්ලකින් බාල සොහොයුරාගේ හිසට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ බාල සොහොයුරා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කරන විට මරණයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඝාතනය සිදුවන අවස්ථාවේ දෙදෙනාම බීමත්ව සිටි බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.